රුපියල් කාසි වලට වඩා ඩොලර් වලින් ගණුදෙනු කරන එකම දේශීය ක්‍රීඩාව ක්‍රිකට් හරහා නිර්මාණයවී තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ක්‍රිකට් ලෝකයාගේ නෙත නිරන්තරයෙන්ම ගැටෙති. එබැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ නිතරම නිවැරදි දෙය කිරීම මෙරට ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිට ඒ හා බඳී ඇති සියලුදෙනාගේම උත්සාහය විය යුතුව තිබේ.
ජයග්රහණයේදී ප්‍රශංසා ලබන මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජයේදී විවිධ දෝස්මුරයන්ට ලක්වේ. අනෙකුත් ක්‍රීඩාවන්වල පරාජයට වඩා ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජය මහ ඉහළින් කතාකරයි. එහෙයින් මෙරට ක්‍රිකට් සෙල්ලම් කිරීමද ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවෙයි.ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සෑම ක්රීඩකයෙකුම ජාතික සම්පතකි.එය රැකගැනීමට ක්‍රිකට් වලට වග කියන බලධාරීන් බොහෝ කැපවන බවක් පෙනේ. ක්‍රීඩකයා දක්වන රංගනය අනුව බලධාරියාගේ මලු පිරෙන බැවින් ක්‍රීඩකයාට බලධාරියා ගොඩාක් ආදරය කරයි. එවැනි ආදරයක් ඉකුත් ඉන්දියාව සමඟ පැවති තරඟයේදී බලධාරීන් විසින් සුරාජ් රන්දිව්ටද ප්‍රසිද්දියේ කලේ ය.
රන්දිව්ට ක්‍රිකට් ලොකු මහත්වරු කර ආදරය එක් තරඟ තහනමක් පැනවීමයි. අනතුරුව තරඟ මුදලද සියයට සියයක්ම කපාදැමීමයි. රන්දිව් කළ වරද වූයේ නිපන්දුවක් යැවීමයි. ඒ නිපන්දුවක් යැවීමෙන් තරඟයක තහනමක් සහ දඩ මුදලකට යටත්වූ ලොව පළමු ක්‍රීඩකයා රන්දිව් විය හැකි ය.
තරඟයක නීති විරෝදී පන්දුවක් යැවීමේ හැකියාව ඕනෑම පන්දු යවන්නෙකුට තිබේ.එහෙත් ක්‍රිකට් නීතිපොතේ සීමා ඉරෙන් ඔබ්බට පෙර පාදය යොමු කර යවන නිපන්දු ලොව සෑම පන්දු යවන්නෙකුම යවා තිබේ. එහෙත් රන්දිව් යැව් නිපන්දුවේ බර පතලකම වූයේ විරෙන්ද්‍ර ශෙවාග්ට ශතකය අහිමි කිරීමේ චේතනාවෙන් නිපන්දුවක් යැවීමේ චෝදනාවයි. ක්‍රිකට් පොතේ එහෙම නීතියක් නොතිබුණද ශ්‍රීලංකා ක්‍රිකට් මහත්වරු එහෙම නීතියක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය සඳහා එක් ලකුණකුත් ශෙවාග්ගේ ශතකයට එක් ලකුණකුත් තිබියදී රන්දිව් යැවූ නිපන්දුවට ශෙවාග් හයේ පහරක් එල්ල කළ නමුත් හයේ පහර අවලංගු වී නිපන්දුවෙන් ඉන්දියාවට ජය හිමි වෙද්දී ශෙවාග් 99 නැවතී සිටියේ ය.
එම නිපන්දුව හිතාමතා යොමුකළ බවට පුණුරූපණ නැරඹූ ඕනෑම අයකුට සිතාගැනීමට පහසු වනු ඇත. සීමා ඉරට අඩියක් පමන ඉදිරියේන් පාදය තබා රන්දිව් නිපන්දුව යැව්වේ ය. රන්දිව් ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව හොඳින්ම දන්නවා ඇත. නමුත් ක්‍රිකට් මහත්තයෙකු වූ පළියට ක්‍රීඩකයෙකු ලකුණු 99ක් ලබා සිටින විට ශතකය ලබා දීමට අවස්ථාව ශිය යුතු යැයි කිසිඳු පොතක සටහන් වී නොමැත.
රන්දිව්ට චෝදනාව එල්ලවූ පන්දුවාරය ආරම්භකරන විට ඉන්දියාවට ලකිණු5කුත් ශෙවාග්ට එක් ලකුනකුත් අවශ්‍යව තිබුණි. එහිදී රන්දිව්ගේ පළමු පන්දුව කඩුළු රකින සංගක්කර අතින් ගිලිහී ලකුණු 4ක් බවට පත්විණි. එය වයිඩ් පන්දුවකි. නමුත් විනිසුරු එය වයිඩ් පන්දුවක් ලෙස සටහන් නොකලේ ශෙවාග්ට ශතකය ලබාදිය යුතු පාරිශුද්ධ චේතනාවෙන් විය යුතු ය.අනතුරුව රන්දිව් යවන ලද දෙවැනි සහ තෙවැනි පන්දුවලට ශෙවාග්ට ලකුණු ලබාගැනීමට නොහැකි විය. රන්දිව්ට දෝස්මුරයත් සමඟ තරඟ තහනම පැනවූ සිව්වැනි පන්දුව නිපන්දුවක් යන බව විනිසුරු කියනවාත් සමඟ ශෙවාග් 6පහරක් එල්ල කළේ ය.
එය නිපන්දුවක් නොවූයේ නම් ශෙවාග් එල්ලකල 6පහරත් සමඟ ඔහු නොදැවී ලකුණු 105ක් ලෙස සටහන් වනු ඇත. තරඟය නිමවීමෙන් පසුව රන්දිව් ශෙවාග්ට නිපන්දුව යැවීම ගැන සමාවෙන්න යැයි පවසා තිබේ. තරඟයේදී ප්‍රතිවාදියා කෙසේ හෝ මෙල්ල කිරීමේ උත්සාහයෙන් පන්දුයැවූ රන්දිව් තරඟයෙන් අනතුරුව මහත්මයෙක් ලෙස ශෙවාග් ගෙන් සමාව අයැද සිටියේ ය. පසුව රන්දිව් නිපන්දුවක් යැවූයේ ඩිල්ෂාන්ගේ පෙරැත්ත කිරීම මත බව අනාවරණය වී තිබේ.
මුරලි ඉකුත් ඉන්දියානු ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන්ම සමුගත්තේ ය. අවසන් ටෙස්ට් තරඟයට පිවිසෙන විට මුරලිගේ කඩුලු මල්ල 792ක් ලෙස සටහන් විය. මුරලිගේ ඉලක්කය වූයේ අවසන්ටෙස්ට් තරඟයේදී කඩුලු 8ක් දවාගැනීමයි. ඉන්දියානු නායක දෝනි මාධ්‍යයට පැවසූයේ අකමැත්තෙන් හෝ මුරලිගේ කඩුලු 800 සීමාව වළක්වාලීමට ක්‍රීඩකයන් කටයුතුකළ යුතු බවයි. ඉන් ගම්‍ය වන්නේ මුරලි කඩුලු 800 ලබාගන්නවාට දෝනි අකමැත්තක් නොමැති බවයි. නමුත් තම කණ්ඩායමට එරෙහිව එය ලබාගන්නවාට ඔහු අකමැති බවයි. ලොව ඕනෑම ක්‍රීඩකයකුගේ සැගවිත් තිබෙන සැබෑ මහත්මා ගතිය එය විය යුතු ය.
ඉන්දියාවේ හර්බජාං සිං, ඉෂාන්ට් ෂර්මා සහ ගංගුලි වැනි ක්‍රීඩකයන් බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපාන කියුම් කියනි දක්නට ලැබේ. එහිදී මහත්වරුන් ලෙස එය ශ්‍රීලංකා ක්‍රීඩකයෝ ඉවසා දරා සිටිති. ඉන්දියානු ක්‍රිකට් බලධාරීහු නිහඬව කල් මරති.
ශෙවාග් 99න් නැවතීමෙන් ලකුණු වැටුනේ ද්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු, බලධාරීන්ටය. ලකුණු කැපුනේ රට වෙනුවෙන් වැර වීරිය අදින ක්‍රීඩකයෙකුගේ ය. රන්දිව් කළ වැරැද්ද තරඟකාරීත්වය අනුව කළ දෙයක් විය හැකිය. එහෙත් මෙරට ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගේ තරඟය ඩොලර් ද.? රන්දිව් හිතාමතා නිපන්දුව යැවූ වරද පිලිගත්තේ නම් ඔහුට දඬුවම් දිය යුත්තේ ශෙවාග් ගේ ශතකය අහිමි කලාට නොව, සිතාමතා ප්‍රතිවාදීන්ට ලකුණු ලබාදීම ව්නුවෙනි. එය එසේ කළානම් කවුරුත් නාගන්නේ නැත.
ලෝක ක්‍රිකට් අධිරාජය වර්තමානයේ ඉන්දියාව සතුව තිබේ. ඔවුන් ක්‍රිකට් වෙනුවෙන් ලොව වැඩිම මුදලක් වියදම් කරන රට බවට පතව ඇත.එයට ලොල් බඳිමින් ලකුණු දාගැනීමට රන්දිව්ලාගේ නාමය පාවාදිය නොහැකිය. සිද්ධිය වී හමාරය. හෙටදින රන්දිව් පිටියට බසින විට ඉන්දියානු ප්‍රේක්ෂකයෝ ඔහු දිහා වපරැසින් බලන විට වගකිව යුත්තේ රන්දිව් ද? නැතහොත් ඔහුට දඬුවම් දුන් පාලනාධිකරණයද? එය අනාගතයේ මාතෘකාවට බඳුන් වෙනු ඇත.
[ අසේල විතාන ]
-මෙම ලිපිය උපුටා ගත්තේ දිවයින ඉරිදා සංග්රහයෙනි.-