WelCome to DilScoop....!!

www.dilscoop.info the best srilankan online cricket forum....!!!

INQUIRY

ඩිල්-ස්කූප් බ්ලොග් වාර්තාකරණය ගැන ඔබේ අදහස් අපට ලියා එවන්න..dil_scoop@live.com

8/27/2010

ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රමවේදය



රූඩි කර්ස්‌ටන් විසින් සංගක්‌කාරගේ දැවී ගිය ක්‍රීඩකයකු යෑයි දැනුම් දුන් තරගයේදී තරගයෙන් අනතුරුව තම කණගාටුව පළ කිරීමට කර්ස්‌ටන් විනිසුරුවරයා සංගක්‌කාර මුණ ගැසුණු අවස්‌ථාව.

---------------------------------------------------------------
ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට පෙර සූදානමක්‌ වශයෙන් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - නවසීලන්ත - ඉන්දියා තුන්කොන් තරගාවලියේ අවසානය සනිටුහන් කරනු ලබන අවසන් මහ තරගය හෙවත් මයික්‍රොමැක්‌ස්‌ කුසලානයේ හිමිකරුවන් තේරීම හෙට (28 වැනිදා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තරග වැදීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායමත් අසල්වැසි ඉන්දීය කණ්‌ඩායමත් සුදුසුකම් ලබා සිටියි.

මෙවර තරගාවලිය යටතේ නවසීලන්තයට සහ ඉන්දියාවට ජයග්‍රහණ වාර්තා කරමින් ශ්‍රී ලංකාව අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට සහ නවසීලන්තයට එරෙහිව තරග ජයග්‍රහණ වාර්තා කරමින් ඉන්දීය කණ්‌ඩායම අදාළ අවසන් මහ තරග අවස්‌ථාව උදා කර ගත්තේය.

පසුගිය මස 10 වැනිදායින් ඇරඹි අදාළ තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මීට පෙර පැවැති තරගාවලිවලට වඩා තරමක්‌ වෙනස්‌ අන්දමින් ක්‍රියාත්මක වීම සුවිශේෂී විය. එහිදී තරගයක්‌ පැවැත්වීමෙන් අනතුරුව දිනයක්‌ අතිරේක දිනයක්‌ වශයෙනුත් අනෙක්‌ දිනය විවේක දිනය වශයෙන් සෑම තරගයක්‌ අවසනදීම ලබාදීම අදාළ සුවිශේෂීතාව වේ.

එයත් සමගම එක්‌ ක්‍රීඩාංගණයක්‌ සියලුම තරග පැවැත්වීම ඇතුලු තවත් විශේෂ සිදුවීම් රැසක්‌ වාර්තා වූ අදාළ තරගාවලියේදී සුරාඡ් රන්දීව් විසින් නිපන්දුවක්‌ යෑව්වේ යෑයි කියන සිදුවීමද මෙම තරගාවලියේදී සුවිශේෂී ගොන්නට එකතු වන තවත් කරුණක්‌ විය.

ඉන්දීය කණ්‌ඩායමේ ජයග්‍රහණයට මෙන්ම ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර සෙවැග්ගේ ශතකයට එක්‌ ලකුණක්‌ තිබියදී සෙවැග්ට ශතකය අහිමි කිරීම වෙනුවෙන් රන්දීව් හිතාමතාම නිපන්දුවක්‌ යවන ලද්දේ යෑයි රන්දීව්ට සහ ශ්‍රී ලංකා කණ්‌ඩායමට චෝදනා ගොනු විය.

ලෝකයේ ක්‍රිකට්‌ ක්‍රZSඩා කරනු ලබන කණ්‌ඩායම් අතුරින් විනීතම කණ්‌ඩායමට හිමි සම්මානය දෙවරක්‌ දිනා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායමට මෙම සිදුවීම විශාල අතුල් පහරක්‌ වී යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලනාධිකාරියේ මතය විය.

එහිදී ප්‍රථමයෙන්ම රන්දීව්ට සහ ශ්‍රී ලංකා කණ්‌ඩායමට එරෙහිව කඳවුරු බැඳීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පෙළැඹීම කැපී පෙනෙන සිදුවීමක්‌ විය. තම පාලනය යටතේ ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් විසින් කරන ලදැයි කියන අදාළ අකටයුත්ත සම්බන්ධයෙන් හදිසි රැස්‌වීමක්‌ කැඳවමින් රැස්‌වූ අතුරු කමිටු සාමාජිකයන් අදාළ වරදට වරදකරු වූ සහ එයට උල් පන්දුම් දුන් අයට දඬුවම් මෙන්ම කණ්‌ඩායමේ නායකයාටද තරයේ අවවාද කිරීමට පෙළැඹිණ.

එහෙත් මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ රන්දීව් විසින් එය හිතාමතාම කළේද නැතහොත් අත්වැරදීමකින් සිදුවූයේද යන්න වැඩිදුරටත් සලකා බැලීම වෙයි. රන්දීව් එසේ කළේ නම් එය වැරදි ක්‍රියාවක්‌ වන නමුත් ඔහු කර ඇත්තේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට අදාළ නීති කැඩීමක්‌ හෝ වෙනයම් අකටයුත්තක්‌ නොවන බව තරයේ මතක තබා ගත යුතු කරුණක්‌ වේ.

එහිදී රන්දීව් කර ඇත්තේ නිපන්දුවක්‌ යෑවීම පමණි. එවැනි දෙයක්‌ ක්‍රිකට්‌ නීති පොතට අනුව දඩ ගැසීමක්‌ හෝ තරග තහනමකට කිසි සේතම ඔබින සිදුවීමක්‌ නොවිණ. එසේ සිදුවූයේ නම් එය තරග තීරක ලෙස කටයුතු කරන පුද්ගලයා වන ඇලන් හර්ස්‌ට්‌ගේ වගකීමක්‌ වේ. එහෙත් රන්දීව් විසින් කළ එම සිදුවීම පිළිබඳව තරග තීරකවරයා කිසිවක්‌ නොකීවේය. මන්ද යත් රන්දීව් විසින් කර ඇත්තේ සාමාන්‍ය පරිදි නිපන්දුවක්‌ යෑවීම නිසාවෙනි.

කරුණු කාරණා එසේ වුවද සුරාඡ් රන්දීව්ට එක්‌ තරගයක තහනමක්‌ද සමගින් එම තරගයේ සම්පූර්ණ තරග ගාස්‌තුවද, අදාළ නිපන්දුව යෑවීම සම්බන්ධයෙන් උල් පන්දම් දුන්නේ යෑයි කියන ටී. එම්. ඩිල්ෂාන්ට එම තරගයේ සම්පූර්ණ තරග ගාස්‌තුවද සහ මින් ඉදිරියට එවැනි කටයුත්තක්‌ තම නායකත්වය යටතේ සිදුනොවිය යුතු යෑයි ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාරටත් අවවාද කිරීමක්‌ද සිදුවිය.

මෙම ලිපිය සටහන් තැබීමේ අරමුණ වනුයේ රන්දීව් සුදනකු කරවීමවත්, එම සිදුවීම නැවතත් උකහා දැක්‌වවීමවත්, නොව මෙම සිදුවීම හරහාම එම තරගාවලිය යටතේ සිදුවූ තවත් අපූරු සිදුවීමක්‌ පිළිබඳවය.

මෙම සිදුවීමේ කතා නායකයා මෙන්ම එම අකරතැබ්බට මුහුණ දීමට සිදුවූයේද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක කුමාර් සංගක්‌කාරටය.

රන්දීව්ගේ සිදුවීමෙන් අවවාද ලැබීමෙන් දින කිහිපයක්‌ ගෙවී යැමටත් පෙර මෙම හෙණ ගෙඩිය ශ්‍රී ලංකා නායකයාගේ හිස මතට කඩාගෙන වැටුණේ නවසීලන්තය සමග ඉකුත් 20 වැනිදා පැවැති තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.

රන්දීව්ගේ සිදුවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට හරහට හිටියා සේම මෙම සිදුවීමේදී සංගක්‌කාරගේ හරහට සිටියේ මෙම තරගාවලිය විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවෙන් යොදවා ඇති විනිසුරුවන් තිදෙනාය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වර්ෂාව හේතුවෙන් පසුගියදා අත්හැර දැමුණු තරගයේදී පන්දු යවමින් සිටි නේදන් මැකලම්ට අවහිර වන අයුරින්(ඇඟේ හැප්පීමෙන්) සංගක්‌කාර තණතීරුවේදී ලකුණු කරා දිව යැම මත ඔහු(මැකලම්) විසින් විනිසුරුවන්ට පැමිණිලි කර තිබුණි.

මැකලම්ගේ පැමිණිලි කිරීම මත තරගයෙන් අනතුරුව තරග තීරකවරයාට හට වාර්තාවක්‌ ලබාදීමට එම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ විනිසුරුවන් කටයුතු කළහ. එම විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ තිදෙනකු පසුවූ අතර, රැන්මෝ මාටිනස්‌, ටී. එච්. කේ. විඡේවර්ධන, සහ කුමාර් ධර්මසේන එම තිදෙනා විය.

රන්දීව්ගේ සිදුවීමෙන් පසු අවවාද ලැබ සිටින සංගක්‌කාරට මෙම හෙණ ගෙඩිය පාත් වූයේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ යන පිරුළ මොනවට විදහා දක්‌වමින්. රන්දීව්ගේ සිදුවීමෙන් පසු තරමක පහත් මානසික මට්‌ටමක පසුවූ ශ්‍රී ලංකා නායකයාට එල්ල වී තිබෙන මෙම චෝදනාවද තරගයක ලැබෙන මුදලින් කොටසක්‌ දඩ වශයෙන් වීමට තරමට ප්‍රමාණවත් සිදුවීමක්‌ වීම සහ පිට පිටම වූ එක හා සමාන සිදුවීම් මගින් තමාගේ නමටද කැළලක්‌ එක්‌වනු ලබන බව සංගක්‌කාරට වැටෙහෙන්නට ඇත.

එහෙත් ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ තරග තීරක ඇලන් හර්ස්‌ට්‌ මහතා එම සිදුවීම පිළිබඳව රූපවාහිනී පුනරූපණ නැරඹීමෙන් පසු නිගමනයකට එළැඹුණේය. එහිදී ඔහුගේ තීරණය වූයේ මෙම සිදුවීම තුළ සංගක්‌කාරගේ කිසිදු වැරැද්දක්‌ නොමැති බවයි.

හර්ස්‌ට්‌ගේ නිගමනය අනුව සංගක්‌කාර නිවැරැදි කරු විය. ඉන් පැය කිහිපයකින් අනතුරුව පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකුගේ පැනයකට සංගක්‌කාර ඒ පිළිබඳව පිළිතුරක්‌ ලබා දුණි. තරගයකට පෙර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වීම සාමාන්‍ය සිරිතක්‌ වන අතර, එහිදී මාධ්‍යවේදීන් අසනු ලබන සෑම ප්‍රශ්නයකටම කණ්‌ඩායම් නායකයා පිළිතුරු දිය යුතු වෙයි.

එම මාධ්‍ය හමුවේදීද නවසීලන්ත සමග තරගයේදී තමාට මුහුණදීමට සිදුවූ සිදුවීම පිළිබඳ පැනයක්‌ නැගෙන්නට ඇත. එයට පිළිතුරු අනිවාර්යයෙන්ම සංගක්‌කාර දිය යුතුද විය.

එහිදී සංගක්‌කාර පවසා ඇත්තේ මේ සිදුවීම පිළිබඳව විනිසුරුවන් කටයුතු කර ඇත්තේ සිදුවීමේ එක්‌ පැත්තක්‌ පමණක්‌ අරගෙන බවයි.

සංගක්‌කාර විසින් ලබා දුන් එම ප්‍රකාශයේ කිසිදු වැරැද්දක්‌ නොමැත. එයින් ගම්‍ය වන්නේ අසන ලද පැනයකට ඔහුගේ අදහස ඉදිරිපත් වීමය.

නමුත් දැන් එහි නවතම පැත්තක්‌ නිර්මාණය වී තිබේ. එනම් තරගාවලියක්‌ පැවැත්වෙන අතරතුරදී විනිසුරුවන්ට විරුද්ධව ප්‍රකාශයක්‌ කළේ යෑයි සංගක්‌කාරට චෝදනා ගොනු කරන්නට අදාළ ශ්‍රී ලංකා විනිසුරුවන් කටයුතු කිරීමයි. මෙවර චෝදනාව යොමුවන්නේ තරග තීරකට හෝ අන්තර්ජාතික ක්‍රිකට්‌ සභාවටවත් නොවේ. මෙවර එය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ විනිසුරු සංගමයට වේ.(වාර්තා වන අන්දමට මේ සඳහා පාකිස්‌තානු විනිසුරු අසාද් රවුෆ්ද අත්සන් තබා තිබේ)

මෙය රජ ගහේ මෝඩ ක්‍රියාවකැයි හැඟේ. මෙතනින් බැරිනම් අතනින් හරි වැඩේ දෙනවා යෑයි විනිසුරුවන් හිතන්නට ඇත. සංගක්‌කාරද ක්‍රිකට්‌ පිටියේදී නාහෙට අහන්නකු නොවන බව සියලු දෙනා දන්නා පොදු න්‍යායකි. පිටියේදී යම් ගැටලුවක්‌ පැන නැගෙන්නේද එහිදී එල්ලී එල්ලී යැමේ ස්‌වභාවයක්‌ සංගා තුළ තිබේ. මෙය වරෙක සුබ අතට හැරෙන්නත් වරෙක අසුබ අතට හැරෙන්නත් ඉඩ කඩ බෙහෝය. සංගාගේ එම දඩබ්බර ගතියට මට්‌ටුවක්‌ ලබාදීම වෙනුවෙන් මේ පිළිබඳව තවදුරටත් ශ්‍ර්‍රS ලංකා විනිසුරුවන්ගේ සංගමයට පැමිණිලි කොට එහිදී ශ්‍රී ලංකා නායකයාට දඬුවමක්‌ ලබාදීම ශ්‍රී ලංකා විනිසුරුවන්ගේ අදහස වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

විනිසුරු තීරණ ලබා දීම සම්බන්ධයෙන් සංගක්‌කාර සිටින්නේ ලොව සෙසු පිතිකරුවන්ට වඩා උතුම් ස්‌ථානයකය. පිත්තේ පිරෙන්නට පන්දුව වැදී එය විනිසුරු ලබා දැවී යැමක්‌ ලෙස සංඥ නොකරන්නේ නම් ක්‍රීඩා පිටියේදී රැඳී සිටින පිතිකරුවන් ලොව ඕනෑ තරම් සිටියි. එහෙත් එවැනි නරක සිරිතක්‌ සංගාගේ නැත. ඔහුගේ පිත්තේ පන්දුව වැදුණද එය උඩ පන්දුවක්‌ වූයේ නම් විනිසුරු දිහා නොබලාම ආපසු ක්‍රීඩා ගාරයට යැම සංගා සතු උතුම් ගුණාංගයක්‌ වේ. (මෙම ගුණය හිටපු නායක මහේල ජයවර්ධනද තුළද තිබේ) මෙවැනි අවස්‌ථාවන් වාර්තා වීම් ක්‍රිකට්‌ වචනයෙන්ම කියතොත් සංගාගේ දිවියේ "ඇම්මටම" තිබේ.

එහි එක්‌ අවස්‌ථාවක්‌ ලෙස පසුගිය 2007 වසරේ ශ්‍රී ලංකා කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාවේ කරන ලද ටෙස්‌ට්‌ තරග සංචාරයෙන් හුවා දැක්‌විය හැක. ශ්‍රී ලංකා කණ්‌ඩායමට ජයග්‍රහණයට තවත් ලකුණු 92 ක්‌ සහ සංගක්‌කාරගේ ද්විත්ව ශතකයට තවත් ලකුණු 08 ක්‌ ඒ වන විට අවශ්‍යව තිබුණේය. පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි ස්‌ටුවර්ට්‌ ක්‌ලාක්‌ විසින් එවන ලද කෙටි පන්දුවකට පුල් පහරක්‌ එල්ල කිරීමට සංගක්‌කාර පෙළැඹුණු නමුත් එය ඔහුගේ පිත්තේ නොවැදී උරහිස ප්‍රදේශයේ වැදී ඉහළ ගිය පන්දුව උඩ පන්දුවක්‌ ලෙස පොන්ටින් රැක ගත්තේ යෑයි ඉල්ලීමක්‌ කළහ. ප්‍රතිඵලය දැවී යැමක්‌ විය.

අමු අමුවේ උරහිසේ වදිනා අයුරු සියලු දෙනාම දැක්‌කද ඒ වන විට ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ රූඩි කර්ස්‌ටන් එය නොදැකීම මත දැවී යැමක්‌ ලෙස සටහන් කළේය. එහි ප්‍රථිඵලය වූයේ නිකරුණේ සංගක්‌කාර දැවී යැමත්, ශ්‍රී ලාංකික පිතිකරුවකු ඔස්‌ටේ්‍රලියාවේදී රැස්‌ කරන ලද ද්විත්ව ශතකය නොමැති වීමත් සහ තරගය ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවීමත් යන කාරණා ගොන්නම එකට එකතුවීමය. නමුත් ඒ සිදුවීම පිළිබඳව සංගා ඒ වන විට වාද කිරීමට නොගියේය. ඔහු විනිසුරුගේ තීරණයට හිස නමා පිටියෙන් පිට විය.

එම සිදුවීමෙන් පසු නැවත පුනරූපන නැරඹූ රූඩි කර්ස්‌ටන් විනිසුරු ඒ පිළිබඳව සංගක්‌කාර කණගාටුව පළ කිරීමද පසුව අපිට දැන ගැනීමට හැකි විය. ඒ පිළිබඳව අදහස්‌ දක්‌වා ඇති සංගක්‌කාර පවසා සිටියේ මනුස්‌සයන් අතින් වැරදි සිදුවන බවයි .එවන් හොඳ ගුණාංග සංගා සතුවේ.

විනිසුරුවන් ගත් කළ ක්‍රීඩා පිටියේ විඡ්ජා කාරයන් යෑයි ඔවුන් අධි තක්‌සේරුවෙන් සිටින අය වෙයි. කරන වැඩේ හරි හෝ නරක හෝ ඔවුන් ඒ කිසි දෙයක්‌ ගණන් ගන්නේ නැත. ලබා දෙන තීරණ සම්බන්ධයෙන් ඔවුන් එතරම් තකන්නේද නැත. එහෙයින් ඔවුන්ගේ අතින් එපමණටම වැරදි වන අතර ඒවාට දඬුවම් ලබාදීමක්‌ සිදු නොවෙයි. වැරදි කළද ඔවුන් නොකළ ලෙසට දිගටම එම කටයුත්තේ නිරත වෙයි.

මෙම තුන්කොන් තරගාවලියේදීද එවැනි වැරදි තීරණ තොගයක්‌ම ලබාදීමට තරගාවලියේ විනිසුරුවන් කටයුතු කළහ.

පියවි ඇහැට පේන දෙයින් එකවර තීරණයක්‌ ගැනීම අපහසු කරුණක්‌ බව අපි දනිමු. එහෙත්, ජාත්‍යන්තර තරග විනිසුරුවකු විය යුත්තේ එවැනි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි අයකුට වෙයි. එසේ නැතිනම් ක්‍රිකට්‌ දන්නා ඕනෑම කෙනකුට ඔය කෙහෙම්මල කළ හැකිය. එහි ගුණාත්මක භාවය රඳවා ගැනීම විනිසුරු සතු වගකීම වෙයි.

ඇලන් හර්ස්‌ට්‌ තීරකවරයා හරි තීරණය ගත් නිසා සංගා බේරුණේය. නමුත් දැන් එය වෙන පැත්තකට යොමුවී තිබේ. එහි ප්‍රථිඵලය කුමක්‌ වේ දැයි අපි නොදනිමු.

එහෙත් මතක්‌ කර දීමට කැමැති දෙයක්‌ වෙයි. එනම් විනිසුරුවන් කරන වැරැදි වලට දඩ ගැසීමක්‌ සිදු කෙරෙන්නේ නම් ඒ පිළිබඳව වග විභාගය පැවැත්වෙන්නේ නම් එහිදී ඔවුන්ට කොපමණ මුදලක්‌ දඩ වශයෙන් ගෙවීමට, කොපමණ තරග සංඛ්‍යාවක්‌ විනිසුරු කමෙන් ඈතව සිටීමද සිදුවේද යන්න සලකා බැලිය යුතු වෙයි. ඒ ඒ තරමටම ඔවුන් අතින් වැරදි සිදුවන බැවිනි. එවැනි ක්‍රම වේදයක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගවලට ගෙන ආවොත් සිදු වන්නේ කුමක්‌ද...? පිළිතුරු පැහැදිළිය. සිදුවන්නේ තරගයක්‌ විනිශ්චය කොට විනිසුරුවකු උපයා ගන්නා මුදලට අමතරව තවත් අතින් ගාණක්‌ යොදා ඔවුන් කරනා වැරදි වලට දඩ ගෙවීමට සිදුවීමයි.

මෙම කරුණ අපේ විනිසුරුවන් හොඳින් මතකයේ තබා ගත යුතු වෙයි. ඒ ඔවුන් මෙවර තරගාවලියේදී කළ වැරදි වටල කොපමණ මුදලක්‌ තම තරග ගාස්‌තුවෙන් ගෙවිය යුතුද යන්න තමාගේ හෘධ සාක්‍ෂියට කවදා හෝ පිළිතුරු දිය යුතු වන නිසාවෙනි.

-චමිල කරවිට-
උපුටා ගැනීම : දිවයින ක්‍රීඩා සංග්‍රහය
 

5 comments:

  1. විනිසුරුවන්ගේ පැමිණිලි කෙසේ වෙතත් සංගා ඇඟේ හැපුනුවිට මැකලම් විනිසුරුට පැමිණිලි කලේ මුළු ලොවටම පෙණෙන ලෙසයි.එසේ තිබියදී ඒ ගැන විනය පරීක්ෂණයක් නොපවත්වා සිටියානම් එය වැරදිය.සිදුවීම වනවිට මැකලම් සිටියෙ සංගාට පසුපස හරවාගෙනය.එනම් ඒ පිළිබඳ ඔහුට කල හැකි දෙයක් නැත.එසේ නම් ඔහුවත් පරීක්ෂණයට නොකැඳවීම ගැන සංගා නාහෙන් අඬන්නෙ මොකටද.මන්ද පැහැදිලිවම එම සිදුවීමට සිතා මතා කලා හෝ නොකලා අදාල වන්නේ සන්ගක්කර පමණි.අනවශ්‍ය ආක්‍රමණකාරී රටාවක් පෙන්වන්නට ගොස් නාගන්නේ සන්ගක්කරමය.අනික අපේ උන් වැරදි කලවිට අනිත් අයත් කරන නිසා කලාට කමක් නෑ කියනවාට වඩා ඒ ගැන විවෘතව සොයා බැලීම වටී.මන්ද අපි අපිව මැන ගත යුත්තේ අපේ මිනුම්දඬු වලින් විනා අනුන්ට සාපේක්ශව නොවේ.රන්දිව්ගේ සිදුවීමත් එසේමය.ඉන්දියාව හා ශෙවාග් අවංක නොවීම අපිට අදාල නැත.වැදගත් වන්නේ අපේ එකා කලේ හරි වැඩක්ද යන්න පමණි.වැරැද්ද වැරැද්දක් ලෙස දකින්නට අපේ ක්‍රීඩකයන්ට ඇති ආදරය බාධාවක් නොකර ගනිමු.මොකා කලත් වැරැද්ද වැරැද්දමය......

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. දිල් ස්කූප් බොලොග් කරුවානනි.. ඇයි ඔබතුමාට තමන්ගේම ලිපි මේ බිලොග් අඩවියේ පල කරන්න බැරි.. දැන්වීම් බිලොග් අඩවියට දමාගෙන අනුනෙගි ලිපිවලින් මුදල් ඉපයීමට හැදීම නින්දා සහගත උත්සාහයකි.. Original Link : http://www.divaina.com/2010/08/27/sports06.html

    ReplyDelete
  5. -චමිල කරවිට-
    උපුටා ගැනීම : දිවයින ක්‍රීඩා සංග්‍රහය
    dakke nadda?

    ReplyDelete